Thursday, April 11, 2013

The STARGATE to NIRVANA

සද්ධර්මය කියන්නේ යෝනිසෝමනසිකාරය පවත්වන ආකාරයයි.යෝනිසෝමනසිකාරය පවත්වන විට සද්ධර්මයත් අත හැරෙනවා.යෝනිසෝමනසිකාරය දන්න කෙනාමයි,දකින කෙනාමයි ශෘතවත් ආර්ය ශ්‍රාවකයා.ඔහු දන්නවා,මෙනෙහි කරන්න ඕන දේ.මෙනෙහි නොකරන්න ඕන දේ.මෙනෙහි කලයුතු දේ මෙනෙහි කරනවා.මෙනෙහි නොකල යුතු දේ මෙනෙහි නොකරනවා.මෙසේ යෝනිසෝමනසිකාරය පවත්වන විට සක්කායදිටිඨි,විචිකිච්චා,සීලබ්බත පරාමාස තුන් සංයෝජනය දුරුවෙනවා.

එහෙනම් මේ නිවන් මග නොදැන යන්න බැහැ.
යෝනිසෝමනසිකාරයමයි සොයන්න ඕන.
යෝනිසෝමනසිකාරය කියන්නෙ මොකද්ද කියලා දැනගෙනමයි,භාවනාවට යන්න ඕන.

ඇස් කන් වහගෙන කොච්චර භාවනා කලත් වැඩක් නැහැ, මේ යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය හඳුනන්නේ නැතිව.

මොකද,යෝනිසෝමනසිකාරයේ උපරිම අවස්ථාව තමයි,සම්මා දිට්ඨිය.

තිපරිව්ටයේ සත්‍ය ඤාණය තමයි ,සම්මා දිට්ඨිය (ආර්ය අශ්ඨාංගික මාර්ගය) කියන්නේ  කුමක්දැයි දැනගැනීම.
තිපරිව්ටයේ කෘත්‍ය ඤාණය තමයි,දුක පිරිසිද දැකීම (භාවනාව )
තිපරිව්ටයේ කෘත ඤාණය තමයි, ආර්ය අශ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කලා, කියන නුවණ (සියලු කටයුතු නිමා කලා, නැවත කලයුත්තක් නැත.... කියන නුවණ )
කලින් ලිපියේ තරමක් දුරට පැහැදිලි කලා, "දැකීම" නැමැති හේතුඵල දහම කොහොමද අපි තේරුම් ගන්නේ කියලා.දැකීමක් ඇති වෙන විට එතන සිදුවන සිදුවීම දැන ගෙන , දැකීමයි යෝනිසෝමනසිකාරය.

රහතන් වහන්සේලාට "දැකීම දැකීමක්  පමණයි."-"දිට්ඨේ දිට්ඨ මත්තං"

අපිට දැකීම, දැකීමක් වෙලා නැහැ.
අපිට දැකීම ,රූපයක් වෙලා.
අපිට ඇසීම ,ශබ්දයක් වෙලා.
අපිට රස දැනීම, ආහාරයක රසයක් වෙලා.
අපිට පහස දැනීම , භාහිර දෙයකින් ලැබෙන දෙයක් වෙලා.
අපිට සුවඳ දැනීම, භාහිර දෙයකින් ලැබෙන දෙයක් වෙලා.

දැන් බලන්න, ඇස,කණ,නාසය,දිව,ශරීරය ලඟ රැවටෙන නිසා,යතාර්තය නොදැකීම නිසා මේ අරමුණු නොවේද අපි හොය හොයා ජීවිතේ ගමන් කරන්නේ."දැකීම,ඇසීම,දැනීම,දැන ගැනීම" කියන ඵල ,හේතුවට අයිති කරල බලන හින්ද නොවේද,මේ අරමුණු හොයන්නේ.

එහෙනම් ,අයෝනිසෝමනසිකාරය නිසා නොවේද ,අරමුණු හොයන්නේ.

මෙතන කතා කල යුතු කරුණු  රැසක් තියෙනවා.ඒවා හිමින් හිමින් තේරුම් අරගෙන මේ ගමන යමු.
දැකීම කියන කාරණය තේරුම් ගැනීමට බලමු. මොකද මේක තේරුම් ගත්තොත් අනික් ආයතනත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. 

අපි දන්නවා,ඇහැට රූපයක් ගැටුන විට ,ස්කන්ධ පංචකය හට ගන්නවා.ස්කන්ංධයන් වෙනවෙනම හමු නොවන බවත්,මේ ස්කන්ධයන් ඇති තැන,"දැකීම" නැමැති ඵලය හමු වන බවත් අපි පෙර මතක් කලා.

විඤ්ඤාණය-දැනීම් ස්වාභාවය ( නාම ධර්මයකි )
විඤ්ඤාණයේ ඇත්තේ දැනීම් ස්වාභාවයක් පමණයි. කුමක් හෝ ඇහේ සිදුවූවා..යන්න දැනෙන ස්වාභාවයයි.
සංඥාව-රූපය හඳුනන ස්වාභාවය ( නාම ධර්මයකි )
සංඥාව, ඇහැට අරමුණු වෙච්ච රූපය වගේමයි .හැබැයි රූපය නොවේ.රූපයේ හැඩය හා වර්ණය ඒ විදියෙන්ම නාම ධර්මයක් හැටියට ගොඩ නැගිලා.අපි බොහෝ විට රැවටෙන්නේ,සංඥාවටයි.
වේදනාව-රූපය විඳින ස්වාභාවය ( නාම ධර්මයකි )
සැප,දුක්,අදුක්ඛම සුඛ වේදනා ඇති වෙනවා,ඇහැට රූපයක් ගැටුන විට.
සංඛාරය-රූපය කල්පනා කරන ස්වාභාවය ( නාම ධර්මයකි )

මතක තියාගන්න ඕන ,වැදගත් කාරණයක් මෙතන තියෙනවා.

ඇහැට රූපයක් ගැටුනට ,ස්කන්ධ පංචකය හට ගත්තාට,මේවා කර්ම හෝ කෙලෙස් නොවේ.මේ අවස්ථාවේ,විපාක.
පස්සේ තමයි,මනායතනයෙන් මේවා බාර අරගෙන කර්ම ,කෙලෙස් බවට පත් කරගන්නේ.දුක්ඛ සමුදය ( තෘශ්ණා,දෘශ්ඨි,මාන ) හට ගන්නේ,මනායතනයේ.

රූපයට නම පනවන්නේ හෝ රූපය හොඳයි හෝ නරකයි කියල කියන්නේ හෝ රූපය පිලිබඳව කිනම් හෝ දෙයක් සිතීම කරන්නේ,මනායතනයෙන්.

මනායතනයෙත් අවස්ථා 2ක් තියෙනවා.මනෝ සම්ඵස්සය හා මනෝ ධාතු සම්ඵස්සය. මෙතනත් අමුතු දෙයක් නැහැ.

ඇහැ ආශ්‍රයෙන් හට ගත්ත සංඥාව හෝ සංස්කාර හෝ වේදනාව , අවිද්‍යාව නිසා ( අයෝනිසෝමනසිකාරය නිසා ) ,ධම්මාරම්මනයක් ලෙස මනායතනයට අරමුණු වෙනවා. ඇහැ නිසා හට ගත්ත ඵලය ,මනසට හේතුවක් වෙලා.(ඵලය-->හේතු )
දැන් ,මනායතනය,ධම්මායතනය ( සංඥාව හෝ සංස්කාර හෝ වේදනාව ) ගැටීම නිසා මනෝ විඤ්ඤාණය පහල වෙලා.අර ඇහේ සිදුවෙච්ච දේමයි ,මනස ආශ්‍රයෙන් වෙලා තියෙන්නේ. දැන් මනායතනය,ධම්මායතනය,මනෝ විඤ්ඤාණය ,සංඥාව,සංස්කාර,වේදනා හට ගෙන.දුක හට ගෙන.( ඉපදීම )
"දැන ගැනීම" කියන ඵලය හටගෙන.මේ අවස්ථාව තමයි සසරටත් ( පිනටත් පවටත් ) , නිවනටත් දොරටුව.(STARGATE to NIRVANA)


මේ අවස්ථාව තමන්ගේ චිත්ත සංතානයෙන් වෙන් කරලා හඳුනාගන්න පුලුවන්නම්,ඒකමයි,නිවනට මඟ.
මේ අවස්ථාව තමයි, ප්‍රකට කරගන්න ඕන.
බලන්න,
අපි ඇස් දෙක වහ ගත්තාම, නානාවිධ චිත්ත රූප පේනවා. ඒ පේන අවස්ථාව තමයි ,මේ කියන තැන.විවිධ රූප පේන කොට ,අපි එතන රැවටෙනවා.සිතේ මැවිලා පේන්නේ,භාහිර වූ දේවල් කියලා හිතෙනවා.හිතේ හට ගත්ත ස්වාභාවයක් කියලා හිතෙන්නේම නැහැ. විඤ්ඤාණය බාහිරටමයි පිහිටලා තියෙන්නේ.නමුත් අපි මෙසේ චිත්තරූපයක් මැවෙන කොට ,මනායතනයත්,ධම්මායතනයත්,මනෝ විඤ්ඤාණයත් ඇති තැන හටගත්ත ඵලයක්...කියලා මෙනෙහි කරන්න පුරුදු උනොත්,ඒ මෙහෙහි කිරීමම තමයි යෝනිසෝමනසිකාරය.මුලදි අමාරුවෙයි.
අම්මා වගේම චිත්ත රූපයක් හට ගත්තාම ,අම්මා ගැන හිතන්න පටන් ගන්නවා.අම්මා ගැන හොඳ හිතන්නත් පුලුවන්, නරකට හිතන්නත් පුලුවන්.අම්මා ගැන හොඳ හිතුවොත්,පිනක්.කුසලයක් (සුදු කර්ම).හැබැයි,නරකක් හිතුවොත් පවක්.අකුසලයක් (කළු කර්ම).
නමුත් අම්මා වගෙම චිත්ත රූපයක් හට ගත්ත වෙලාවේ,යෝනිසෝමනසිකාරය පැවැත්වූවොත්,ඒ කියන්නේ,,,...හේතු ඵල දහම විමසීමක් කලොත්,..මේ හට ගත්ත ඵලය මනායතනයත්,ධම්මායතනයත්,මනෝ විඤ්ඤාණයත් ඇති තැන හට ගත්ත ඵලයක් කියලා මෙනෙහි කලොත්,කවමදාවත් පිනකට හෝ පවකට,කුසලයකට හෝ අකුසලයකට යන්නේ නැහැ (සුදුද නොවූ කළුද නොවූ කර්ම).කර්මක්ෂය කලා.
මෙතන යෝනිසෝමනසිකාරය පැවැත්වූවොත්,මේ චිත්ත රූපය මැවෙන කොට ,"අම්මා" කියන දෘශ්ටිය පනවනවා.මේතන තමයි,මනෝ ධාතු සම්ඵස්සය.සිතින්ම දැනගත් දෙයට, සිතින්ම කරන පැනවීම.
දුක ..,දුක හැටියට නොදැක්ක තැන, චිත්ත රූපය ලැබුනේ දුක් වූ ස්කන්ධ පංචකයෙන් කියලා මෙනෙහි නොකරපු තැන, දුක්ඛ සමුදය හට ගෙන ( "අම්මා" කියන පැනවීම )

මෙන්න මෙතන තමයි චතුරාර්ය සත්‍යයේ දුක හා සමුදය පෙන්නන්නේ.

දුක--->මුලින් දැන ගැනීමක් ඇති උනා.( මනෝ සම්ඵස්සය ) .මේකම තමයි ඇස් වහ ගත්තාම පේන විවිධ චිත්ත රූප.

දුක්ඛ සමුදය---->පසුව දැන ගැනීම ,උදෙසා විතක්ක විචාර කරලා , මේ අහවල් දේ කියලා පැනවීම කරනවා.( මනෝ ධාතු සම්ඵස්සය ). අතීත ආශ්‍රවයක් මතක්  කරගන්නවා.

ඉතින් බලන්න , දුක පිරිසිඳ නොදැක්ක තැන,දුක්ඛ සමුදය හට ගෙන.
අයෝනිසෝමනසිකාරය නිසා දුක්ඛ සමුදය හට ගෙන.

අයෝනිසෝමනසිකාරය නිසා වර්තමානය තුල සිදුවන ඇත්ත නොදැනීම තුල,අතීත ආශ්‍රවයක් අවදිකරගෙන."අම්මා" කියන දෘශ්ටිය අතීත ආශ්‍රවයක්.ඒක අපි අතීත්යේදි තමයි රැසකරගත්තේ.

ඉතින් අවිද්‍යාව නිසා වර්තමානයේ අපි සිහි කරගන්නේ අතීතයමයි.වර්තමානයේ ඇත්ත දැක්කානම් ,අතීතයක් සිහි කරන්නේ නැහැ.
සම්මතයේ අපි මැරවිටත් මේ දෙයමයි සිදුවෙන්නේ.

මැරෙන වෙලාවේ හොඳ හෝ නරක මෙනෙහි වෙන්නේ, අවදි කරගත්ත අතීත ආස්‍රවයට සාපේක්ෂකවයි.ආස්‍රවය නිසා, හිත පහන් වුනානාම්, ප්‍රතිසංධි සිත සුගතියටක පිහිටනවා, හිත රලු වුනා නම් , දුගතියක් හිමිවෙනවා. නමුත් මැරෙන මොහොතේ යෝනිසෝමනසිකාරය පැවැත්වූවොත්,හට ගත්ත ඵලයේ නිරෝධයට මෙනෙහි කලොත් නැවත ආයතනයක් හට ගන්නේ නැහැ.අවසාන සිත පහලවන විට මේ අහවල් දේ.... කියලා "දෘශ්ටිය" පනවන්න හෝ මැවිලා පෙනෙන දේ, හොඳයි හෝ නරකයි කියලා හිතන්න ආයතනයක් හට ගන්නේ නැහැ.ආයතන නූපදිනවා.සලායතන නිරෝධ වෙනවා.නිවන කියන්නේ මේකයි.

වඩාත් වැදගත් කාරණාව වෙන්නේ,වර්තමානය තුල අපි හැම විටම මැරෙනවා.( ඇස,කණ, නාසය,දිව ,ශර්ර්‍රය,මනස හට ගෙන මැරෙනවා ).අවිද්‍යාව නිසා අතීත ආශ්‍රවයක් අවධි වෙන නිසා නැවත උපදිනවා ( ඇස,කණ, නාසය,දිව ,ශර්ර්‍රය,මනස හට ගෙන උපදිනවා ).පෙර කර්මයෙන් නැවත උපදිනවා.
හිතාගන්නත් බැහැ නේද?
අපි හිතන්න්නේ ,ජීවිතය අවසානයේ සිදුවන මරණය ගැන.කොච්චර ලාමකද අපි..
ජීවත් වෙලා හිටියට , ධර්මය නොදන්න කෙනා,අවුරුදු 100 ක් හිටියත් ඒ පුද්ගලයා මැරිලා වගේ කියන්නේ මේ හින්දයි.කිසිම වටිනාකමක් නැහැ.

මේ දහම ප්‍රායෝගික වෙමින් තමන්ගේ ජීවිත තුලින් බලන්න පුරුදු වෙන්න ඕන. 

පසුව.... මෙතන තවදුරටත් පැහැදිලි කරගමු..........

No comments:

Post a Comment