Monday, April 8, 2013

නිවන හැම තිස්සේම අපි ලඟ තියෙනවා.


අපි ජීවත් වෙනවා කියන්නේ දැකීම,ඇසීම,දැනීම(ගන්ධ,රස,පහස ),දැන ගැනීම යන කාරනා සතරයි.
දිට්ඨ ,සුත,මුත,විඤ්ඤාත.
මීට වඩා දෙයක් නැහැ,ජීවත් වෙනවා කියන්න.
ඇසින් රූප බලනවා.
කනින් ශබ්ද අහනවා.
දිවෙන් රස බලනවා.
කයෙන් පහස් ලබනවා.
නාසයෙන් ආඝ්‍රානය කරනවා.
මනසින් සිතුවිලි දැනගන්නවා.

මෙය තමයි ජීවත් වෙනවා කියන්නේ.මීට වඩා දෙයක් නැහැ.

ලෝකය ගොඩනැගෙන්නේ මේ ආයතන 6 හරහායි.සසර ගොඩ නැගෙන්නේ මේ ආයතන 6 න්.එහෙනම් නිවන තියෙන්නෙත් මේ ආයතන 6ත් සමගයි.වෙන කොහෙවත් නොවෙයි.
අවිද්‍යාව කියන්නේ,ආයතන 6හි ක්‍රියාකරිත්වය නොදැනීමයි.ආයතන 6හි ක්‍රියාකරිත්වය නොදැනීම නිසයි ,හැම තිස්සේම ලෝභ ද්වේශ හටගන්නේ.
වැරදි දෘශ්ටිය (සක්කාය දිට්ඨි ) නිසයි ලෝභ ද්වේශ හට ගන්නේ. යම් දවසක මේ ආයතන 6හි ක්‍රියාකරිත්වය දැක්කොත්,ඔබ සක්කාය දිට්ඨිය ප්‍රහානය කල කෙනෙකු වෙනවා.

අපි මේ ආයතන 6හි ක්‍රියාකාරිත්වය දැනගෙන ගැනීමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් ලබාගන්න ඕන.
එහෙම දැනගෙන ආයතන 6 හි ක්‍රියාකාරිත්වය දැකීමයි කලයුත්තේ.
නිවන හැම තිස්සේම අපි ලඟ තියෙනවා. අපිට, අවිද්‍යාව නිසා නිවන හැමතිස්සේම මග හැරෙනවා.

සරලව කිව්වොත්, නිවන කියන්නේ,මේ ආයතන 6 හි හට නොගැනීමයි.නූපන් බවයි නිවන කියන්නේ.අසංඛත ධාතුව කියන්නෙ ඒකයි.හට නොගැනීම.

එහනම් අපි බලන්න ඕන , ඇයි මේ ආයතන හට ගන්නේ කියලා. සරලව කිව්වොත්, මේ ආයතන6හි ක්‍රියාකාරිත්වය නොදන්න නිසයි.යම් දවසක මේ ආයතන 6 හි ක්‍රියාකාරිත්වය දැන(ජානාති ),දැක ගත්තොත් (පජානාති-නුවණින් දැකීම ), එදාට ඔබට මට ආශ්‍රවක්ශය කරන ප්‍රතිපදාවක්,නිවනට යන මගක්,ආර්ය අශ්ඨාංගික මාර්ගයක් හමුවෙවි.
එහෙනම් ,අපි පුලුවන් තරම් ආයතන 6හි ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට බලමු.

පලමුව අපි දැනගන්න ඕන,එක මොහොතක  මේ ආයතන 6න් සවිඤ්ඤානික වෙන්නේ එක ආයතනයි.මොකද විඤ්ඤාණ හට ගන්න තැන් තමයි මේ ආයතන 6.එතකොට විඤ්ඤාණ 2ක් එකවිට හට ගන්නේ නැහැ.ඒක චිත්ත නියාමයක්.

 අපි TV බලද්දී රූපත් පේනවා.සද්දයත් ඇහෙනවා.නමුත් මේ 2 දෙපාරකට තමයි වෙන්නේ.ටිකක් මහන්සි උනොත් ,මේක අත්දකින්න පුලුවන්.ඇස සවිඤ්ඤාණික වෙලාවට ,කනින් ශබ්ද ඇහෙන්නේ නැහැ.

කනින් ශබ්ද ඇහෙන විට රූප පේන්නේ නැහැ.ඇහෙන් රූප බලනකොට කණ විතරක් නොවෙයි,අනිත් ආයතන 4ත් නිරුද්ධයි.

එතකොට බලන්න, එක ආයතනයක් අරමුනක් ගන්නා විට(සවිඤ්ඤාණ වනවිට ) අනික් ආයතන 5ම නිරුද්ධයි.මේක ප්‍රායෝගික වෙමින් අපි බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට නුවණ වැඩෙනවා.

අපි බලමු ඇස ගැන. චක්ඛු විඤ්ඤාණය හට ගන්නේ ඇසෙයි. ඇහැ කිව්වාම ,මේ සුදු පාට ගඩුව නොවෙයි,ධර්මයේ සඳහන් ඇස. චක්ඛු විඤ්ඤාණය හට ගන්නේ,චක්ඛු ප්‍රසාදයේයි.චක්ඛු ප්‍රසාදය තමයි ඇහැ.අනිත් ආයතන වලටත් එහෙමයි.

ඇහැට රූපයක් ගැටුනාම චක්ඛු විඤ්ඤාණය හට ගන්නවා (චක්ඛුං පටිච්ච රූපේච ච්ක්ඛු විඤ්ඤාණං )

මෙතන වැදගත් කාරනයක් තියෙනවා. කලින් ලිපි(Link) කියෙව්වනම්, මෙතන තේරුම් ගැනීම අපහසු නැහැ.

ඒ තමයි, මේ හට ගත්ත  විඤ්ඤාණය කොහෙන්වත් ආවෙ නැහැ.වෙනත් ආයතනයකින් ආවෙ නැහැ.අපි අහල තියෙනවා සමහරු භවයෙන් භවයට යන විඤ්ඤාණ ගැන බණ කියනවා.භවයෙන් භවයට තියා ,ආයතනයෙන් ආයතනයට යන විඤ්ඤාණයක් වත් නැහැ.

බුදුහාමුදුරුවෝ සාති නම් භික්ෂුව අරබයා කරන ධර්මය පැහැදිලි කිරීමක් සඳහන් වෙනවා.

සාති භික්ෂුව ,භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන අදහස් දරමින් ඉන්නවා.

බුදුහාමුදුරුවන්ට මෙය සැල වී,සාති භික්ෂුව කැදවා ,මෙහෙම අදහසක් තමන්ට තිබේදැයි විමසා භවයෙන් භවයට යන විඤ්ඤාණයක් තියා ආයතනයෙන් ආයතනයට යන විඤ්ඤාණයක් ගැන තමන් වහන්සේ කොහේද දේශනා කලේ යැයි විමසනවා.
සාති භික්ෂුවට සම්මා දිට්ඨියේ උණුසුමවත් දැනී නැතැයි බුදුහාමුදුරුවෝ පවසනවා.

ඉතින් ඇසට රූපයක් ගැටුනවිට,පෙර නොතිබීම විඤ්ඤාණයක් හට ගන්නවා.ඒ සමඟම වේදනා,සංඥා,සංචේතනා යන චෛතසික ධර්මයන්ද පෙර නොතිබීම හටගන්නවා.කොහෙන්වත් ආවේ නැහැ.

දැන් බලන්න,ස්කන්ධ පංචකය ( රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ ) හට ගෙන තියෙන්නේ.

ඔන්න දුක ඉපදුනා.ධර්මයේ ඉපදීම කියලා පෙන්නන්නේ,මෙතනයි.මේ ක්ෂණයේ ඉපදීමයි.ආයතනයක හට ගැනීමයි.
"කතමංචාවුසෝ ජාති? කන්ධානං පාතුභාවෝ,ආයතනානං පටිලාභෝ,ඉදං වුච්චසාවුසෝ ජාති"
ස්කන්ධයන්ගේ පහල වීමක්,ආයතනයන්ගේ හට ගැනීමක් වේද,එය ජාතියයි.මැරිලා ඉපදෙන්න ඕන නැහැ,ජාතිය බලන්න.මේ මොහොතේ බලන්න පුලුවන් ජාතිය.
දැන් තමයි නියම කාරණාව තියෙන්නේ.

අපිට මේ රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ.මතක තියාගන්න.

අපිට හැම විටම හමුවෙන්නේ රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ මේ 5 ඇති තැන "දැකීම" නැමැති ඵලයයි.ඵලය තමයි හම්බ වෙන්නේ..කලින් ලිපි බලලා තිබ්බානම්(Link),හේතු හා ඵල සම්බන්ධතාවය ගැන මනා වැටහීමක් ලබගන්න තිබුනා.

"දැකීම" යනු, රූපය නොවේ.
"දැකීම" යනු, වේදනාවද නොවේ.
"දැකීම" යනු, සංඥාවද නොවේ.
"දැකීම" යනු, සංචේතනාවද නොවේ.
"දැකීම" යනු, විඤ්ඤාණයද නොවේ.
 
මේ හේතු 5 ඇති තැන හට ගත්ත ඵලයයි ,"දැකීම"

බලන්න,අපිට හැමතිස්සේම හමුවෙන්නේ, "දැකීම" නැමැති ඵලයයි.

කණ්ණාඩිය ලඟ ප්‍රතිබිම්බය ගැන හොඳින් STUDY කරන්න.(Link)

ඵලය හම්බ වෙනකොට අපි ගාව නුවණක් තියෙන්න ඕන,මෙතන යතාර්ත වශයෙන් ඇත්තේ,රූප,වේදනා,සංඥා,සංස්කාර,විඤ්ඤාණ බවට.

තවත් වැදගත් දෙයක් තියෙනවා මෙතන.ඇහැට පුලුවන් දැකීම සඳහා දායක වෙන්න පමනයි.දැකීම් මාත්‍රයක් පමණයි ඇහැ ආශ්‍රයෙන් ලැබෙන්නේ.දැක්ක දේ ගැන හිතන්න ,ඇහට බැහැ.
රූපය ලස්සනයි/කැතයි,අහවල් දේ තමයි දකින්නේ හො රූපය පිලිබඳව කුමක් හෝ සිතන්න ඇහැට බැහැ.
සිතන කාර්යය කරන්නේ වෙනත් ආයතනකින්.(මනායතනය ) .එතකොට දැක්ක දේට නමක් පනවන කාර්යය වෙන්නේ,මනායතන මඟිනි.
මනායතනය සවිඤ්ඤාණ වෙනකොට ඇහැත් රූපයත් ,ඒ නිසා හට ගත්ත වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ නිරුද්ධ වෙලා.
ඒවා කොහෙටවත් ගියේ නැහැ.හේතු නිසා හට ගත්තා.හේතු නිරුද්ධ වීමෙන් ඵලයද නිරුද්ධයි.දැන් මනායතනය ක්‍රියාත්මක වෙනකොට "දැකීම" නිරුද්ධයි.
ඇහැ මැරිලා.මරණය කියන්නේ මේකයි.මනස ඉපදිලා ( ජාතිය ).

මනසින් නම පනවන කොට "දැකීම" මැරිලා.මැරිච්ච දෙයකට තමයි,මනසින් නම පනවන්නේ.

ඒ වගේම "දකින්නේ රූපයයි" කියන තැන ඉන්න හින්දයි දැක්ක දේට "නම" පනවන්නේ.
මනසට බැහැ රූප දකින්න.මොකද මනස,ඇහැ නොවේ.ඇහැට විතරයි රූප දකින්න පුලුවන්.

මනසට පුලුවන් සිතුවිලි දකින්න. වේදනා,සංඥා,සංස්කාර තමයි මනසට අරමුණු වෙන්නේ.මේවා ධම්ම ,ධම්මායතන ආදී නම් වලින් හඳුන්වනවා.

ඇහේ වගේම ,ධම්මායතනය මනායතනයත් සමඟ ගැටුනු විට ,මනෝ විඤ්ඤාණය ඇති වෙනවා,ඒ සමගම වේදනා,සංඥා,සංස්කාර හට ගන්නවා."දැන ගැනීම" ඵලය හමු වෙනවා එතකොට. 

තව දුරටත් මේ ගැන පසුව කතා කරමු.

----------------

සාරාංශ වශයෙන් ගත්තොත්,

අපි ඉන්නේ   "දකින්නේ රූපයයි", කියන තැන.පේන්නේ රූපයයි කියලයි අපි හිතන්නේ.
හේතු ඵල දහම නොදන්න නිසා සක්කාය දෘශ්ටිය.
කණ,නාසය,දිව,ශරීරයත් මෙහෙමයි.
කණ-ඇහෙන්නේ ශබ්දයමයි,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
නාසය-දැනෙන්නේ සුවඳයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
දිව- දැනෙන්නේ රසයයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
ශරීරය-දැනෙන්නේ පහසයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
 
ඵලය හේතුවට අයිති කරලයි බලන්නේ.සක්කාය දෘශ්ටිය .

-------------------

සක්කායදෘශ්ටියේ ඉන්නකං රූප ,ශබ්ද,ගන්ධ,රස ,පහස භාහිර ලෝකයෙන් හොය හොය සංසාරයේ අපි යනවා.නමුත් ඇත්ත දකින කෙනා දන්නවා,දකින්නේ රූපය නොවේ.ඇහෙන්නේ ශබ්දය නොවේ.දැනෙන්නේ ගන්ධය,රස,පහස නොවේ. හේතු ඇති තැන හට ගත්ත ඵලයක් තමයි හැමදාම හම්බ උනේ කියල දන්නවා.මේ අරමුණු සොයා යන එක නවතිනවා.රූප,ශබ්ද,ගන්ධ,රස ,පහස කවමදාවත් හමුනොවන බව ඔහු දන්නවා.හමු නොවන දේවල් පසුපස යන එක නවතිනවා. අවදානය මේ ආයතන 6ටම යොමුකරනවා.

 

No comments:

Post a Comment