Tuesday, October 7, 2014

මනෝ ලෝකය

ඇස් වසාගෙන අප සිටින විට, සජීවීව වටපිටාව කොහොමද අපට පේන්නේ?
ශරීරයේ අත පය,මුහුන පෙනෙන්නේ කොහොමද?
දිවැස් පහල වෙලාද? නැහැ. 

අවිද්‍යාවේ තරමක මහත.
ඇත්තටම ඒ පෙනෙන්නේ සිතිවිල්ලක් මයි.මනසේ හට ගත්ත සිතුවිල්ලක්මයි.
නමුත් ඒ හටගන්නා සිතිවිල්ලේ කෙලෙස් බර ගතිය වැඩියි. ඒ නිසා  චිත්ත රූපය පහල වන විට,සිත භාහිරට නැඹුරු වෙච්ච ගතියට පිහිටනවා. 
ඒ නිසා අපට හිතෙන්නේම බාහිර යමක්, දෙයක්, පුද්ගලයෙක් පෙනෙනවා කියලයි. මේ මැවිලා තියෙන්නේ,සිතිවිල්ලක්,චිත්ත රූපයක්, සිතේම මැවීමක්, කියල හිතෙන්නේම නැහැ. 

නමුත් ඔබට කල්‍යාන මිත්‍රයෙක් හමුවෙලා මෙහි ඇත්ත තත්වය කියලා දෙනවා. මේ පෙනෙන්නේ සිතුවිල්ලක්ය...,සිතේ නිර්මාණයක්ය...භාහිර රූපයක් නොවෙයි මේ පෙනෙන්නේ, සිතත්,සිතුවිලිත් (ස්කන්ධ පංචකය ) නිසයි මේ චිත්ත රූපය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා.

ඉතින් ඔබ පිලිගන්නෙත් නැතිව, ප්‍රතික්ශේප කරන්නෙත් නැතිව ,නමුත් සිතේ තබා ගෙන මේ කියපු දේ ඇත්ත නැත්ත විමසනවා,තමන්ගේම සිතිවිලි දිහා බල බල.

උදා :
පහත රූපයට සමාන චිත්ත රූපයක් සිතේ මැවෙනකොට ,ඔබට හිතෙයි ,"ගහක්" කියලා.
බලන්න මෙතන ධර්මතා 2ක් තියෙනවා.
(1) චිත්ත රූපය හටගැනීම
(2) ඒ චිත්තරූපයට නමක් පැනවීම ("ගස" කියලා)
මේ 2ම වෙන්නේ සිතෙයි.  නමුත් එකකට පසුව අනෙක.ඉස්සෙල්ලා වෙන්නේ චිත්තරූපය හටගැනීම.
ඊට පස්සෙයි,"ගස" කියල නම (සිතින්ම ) පනවන්නේ.












====අතිරේක යමක් (මේ ගැන පසුව සිතන්න )===============================
මතක තියාගන්න ඕන,මේ හැම අවස්ථාවකම අලුත්ම ස්කන්ධ 5ක් පහලවෙනවා.තව චිත්ත රූපයක් හටගන්න කොට තවත් අලුත් ස්කන්ධ 5ක් හට ගන්නවා. (කන්නාඩියට එබෙනකොට චායාව හටගන්න උදාහරනය කියවන්න ).
අතීතයෙන් කිසිවක් ආවෙ නැහැ.අනාගතයට ස්කන්ධ යන්නෙත් නැහැ. හේතු නිසා හට ගෙන හේතු නිරුද්ධ වෙනකොට ,ඉතුරුවක් නැතිව නැතිවෙලා යනවා. (පහනක ආලෝකය වගේ. )
===============================================================

මෙහෙම සිතිවිලි විමසන කොට (දැන් හට ගත් සිතිවිල්ල භාහිරට අයිති නැති බවත්, සිතේම මේ මොහොතේ හට ගත්ත සිතුවිල්ලක් බවත්),

සිතිවිල්ල බාහිරට නැවෙන ගතිය අඩුවෙන්න පටන් ගන්නවා. සිතිවිලි හට ගන්නකොට ,භාහිරට නැවෙන ගතියට කියන්නේ "භවය" කියලා.
සිතිවිල්ල බාහිරට නැවෙනවා කියල ඇත්තටම කියන්නේ, සිතේ හට ගන්න සිතුවිල්ල දකින්න හෝ අහන්න හෝ ස්පර්ශ කරන්න හෝ රස බලන්න හෝ සුවඳ බලන්න, ආයතනක් උපද්දවනවා( උදා: ඇස ආවර්ජනය කරනවා).
නමුත් සිතිවිල්ල ,සිතිවිල්ල විදියට බලන කොට ,භාහිරට නැවෙන ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ පංච ආයතනය අරමුණු කිරීම අඩු වෙනවා. තවදුරටත් පැහැදිලි කලොත් ,කාම භවය අත හැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මනෝ විඤ්ඤාණය තමයි ප්‍රකට වෙන්න පටන් ගන්නේ (රූප භවය )
ඒවා ගැන පස්සේ හිතමු,
දැනට කරන්න තියෙන්නේ, සිතිවිල්ල සිතිවිල්ල හැටියට බලන්න විතරයි. මෙහෙම කරනකොට, තව දුරටත් ප්‍රත්‍යක්ෂ වෙයි, "මම" සිතුවිලි බලනවා නොවෙයි,සිතින්ම සිතුවිලි බලනවා කියලා.( මම කියන දෘශ්ටියත් හට ගන්න විදිය දකින්න පුලුවන් ).
ඉතින් මුලින් කිවු පරිදි, පිලිගන්නෙත් නැතිව, ප්‍රතික්ශේප කරන්නෙත් නැතිව ඇත්ත නැත්ත විමසා බලන්න.

පිලිගැනීම නොපිලිගැනීම ඔබ සතුයි.

Thursday, October 2, 2014

1/6 (හයෙන් එකයි )

අපට තියෙන්නේ ආයතන6 යි.ඇස,කණ,නාසය,දිව,ශර්‍රීරය, මනස.
මේ ආයතන 6ත් හැම වෙලේම වැඩ කරන්නේ නැහැ.
විශේෂම දේ තමයි,එක වෙලාවකට වැඩ කරන්නේ 1 ආයතනයි. ආයතන 2ක් එකට හටගන්න බැහැ.
ඒ මේ හින්ද,
මේ ආයතන 6යේ තමයි ,විඤ්ඤාණය හට ගන්නේ.චක්ඛු,සෝත,ඝාන,ජීව්හා,කාය,මන කියන විඤ්ඤාණ 6. කවමදාවත් සිත් 2ක් එකට හට ගන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. ඒ හින්දා, විඤ්ඤාණ 2ක් එකවිට හටගන්නේ නැහැ. ඒ කියන්නේ ආයතන 2 ක් හෝ ඊට වැඩිය ,එක මොහොතක හටගන්නේ නැහැ. එහෙම උනොත් කවදාවත් නිවන් දකින්නත් බැහැ.

බලන්න, ඔබ රූපවාහිනිය බලන විට ,රූපත් පේනවා,සද්දත් ඇහෙනවා. නමුත් ඇත්ත නම්,රූප පෙනෙන විට ශබ්ද ඇහෙන්නේ නැහැ.ශබ්ද ඇහෙන විට රූප පෙනෙන්නේ නැහැ. ඒ අතරේ මදුරුවෙක් කෑවොත්, දැන් රූප පේන්නෙත් නැහැ,ශබ්ද ඇහෙන්නෙත් නැහැ, කාය ස්පර්ශයක් තමයි හට ගෙන තියෙන්නේ. මේ සිද්ධිය ප්‍රායොගිකව අත් දකින්න පුලුවන්.

තවදුරටත්,
මේ ආයතන 6 ට අමතරව සත්වයෙක්,පුද්ගලයෙක්,මම හෝ ආත්මයක් මේ ආයතන 6හි අරමුණු විඳිනවා නොවෙයි,
ඇස ,කණ,නාසය,දිව,ශර්ර්‍රයෙන් ඒ ඒ අවස්ථාවේදී ගන්නා අරමුනු,මනසින් විදීමයි වෙන්නේ.
එතකොට වැදගත්ම දේ තමයි, මනසින් අරමුනු විදින වෙලාවේ, අර ආයතන 5ම නිරුද්ධයි.
එනම්, කුමන හෝ සිතුවිල්ලක් හට ගත්ත වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ මනායතනයි. ඇස,කණ,නාසය,දිව,ශරීරය ඒ වෙලාවට නිරුද්ධයි.
මේක අත් දකින්න උත්සහ වෙන්න ඕන. සිත කලබලයි නම්,විසිරිලා නම්,කැමති කමටහනක සිත පිහිටුවලා ටිකක් සිත සන්සුන් කරගෙන (ධ්‍යාන මට්ටම නෙවෙයි. මේ කියපු දේ දකින්න ධ්‍යාන වඩන්න ඕන නැහැ. සිත පොඩ්ඩක් සන්සුන් කරගත්තොත් ඇති.වැරදි වැරදි හරි කලොත් ධර්මතාවය හඳුනාගත්තොත් ,එතනින් එහාට හරිම පහසුයි.  ) මේ කියපු දේ ඇත්තද නැත්තද ඔබම බලන්න. බොරුවක් නම් ප්‍රතික්ශේප කරන්න

දිට්ඨ (දැකීම )
=======================
ඇසින් කරන කෘත්‍ය තමයි.දැකීම.
ඇස කියන්නේ,කෘත්‍යයක්.ක්‍රියාවක්. අපිට නම් , ඇස ඉපදුන දා පටන් මරණය දක්වාම තියෙනවා. ඒක වැරදියි. චක්ඛු විඤ්ඤාණය හට ගන්නා මොහොත පමණයි,"ඇස" වෙන්නේ.ඇහැ හටගත්තා කියන්නේ චක්ඛු විඤ්ඤාණය හට ගත්තාමයි. චතුරාර්ය සත්‍යයේ "ඉපදීම" කියන්නේ මේ අවස්ථාවටයි. (අනිත් ආයතන වලටත් එහෙමයි. )
ඇහැත් රූපයත් ඇතිතැන චක්ඛු විඤ්ඤාණය හට ගන්නවා.(සරලව ගත්තොත් )
හිතන්න මෙහෙම,
ඇහැට කට්ටකින් ඇන්නොත් හට ගන්නේ මොන විඤ්ඤාණය ද? කාය විඤ්ඤාණය  යි.
එතකොට ඒකෙන්ම තේරුම්ගන්න,අවස්ථාව අනුවයි ඇස පහල වෙන්නේ.

එතකොට,
චක්ඛු විඤ්ඤාණය  හටගත්ත අවස්ථාව ගත්තොත්,එතන මොනවද තියෙන්නෙ කියල බලමු,
ඇස,රූපය( ඇසට ඉදිරියෙන් ),චක්ඛු විඤ්ඤාණය  තමයි තියෙන්නෙ.
මේ තුන්දෙනා කොතැනද ඉන්නේ, එතන තව ධර්මතා 3 ක් හටගන්නවා. ඒ තමයි, වේදනා,සංඥා,සංචේතනා කියන චෛතසික 3. රූපය පිලිබඳ විදීම, හැඳිනීම, කල්පනා කිරිම තමයි ඒ.

කලබලවෙන්න එපා.හැමදාම අහන බණ නෙවෙයි මේ කියන්නේ,එතනින් එහාට යමක්.ඔබට සිතන්න.

දැන් මොනවද තියෙන දේවල්?
ඇස,රූපය,චක්ඛු විඤ්ඤාණය  ,වේදනා,සංඥා,සංචේතනා.
ඇසත්,රූපයත් රූප ස්කන්ධයටයි අයිති.
බලන්න ස්කන්ධ 5 ක් නොවෙයිද හට ගෙන තියෙන්නේ,එක මොහොතක. මේ ස්කන්ධ අතීතයෙන් ආවෙ නැහැ.අනාගතයට යන්නෙත් නැහැ.හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට ඉතුරුවක් නොමැතිව නිරුද්ධ වෙනවා.
ඉතුරුවක් නොමැතිව තමයි නිරුද්ධ වෙන්නේ,ඉතුරුවක් උනොත් කවදාවත් නිවන් දකින්නත් බැහැ. අපේ වෙලාවට,ඉතුරුවක් නොමැතිව නිරුද්ධ වෙනවා.

නමුත් අපි මේ ඇත්ත දන්නවද? අපිට නම් ,අතීතය නිරුද්ධ වෙලා නැහැ.පොඩි කාලෙ ඒවත් මතකයි.ඊයේ ඒවත් මතකයි,අද උදේ ඒවත් මතකයි. උදේ ,ඇහැට රූපයක් ගැටුනු වෙලාවේ හට ගත්ත ස්කන්ධ 5 ,ඇසත් රූපයත් වෙන් වෙනකොට ඉතුරු නැතිව නිරුද්ධ වෙලා. නමුත් අපට එහෙම වෙලා නැහැ.

කමක් නැහැ. අපි නැවතත් දැකීම කියන ස්ථානයට අවධානය යොමු කරමු.

දැන් රූපයක් ඇහැට ගැටුනු වෙලාවේ ස්කන්ධ 5 හට ගෙන.( වර්තමාන ක්ෂණය තුල )
දැන් මේ ස්කන්ධ 5 නිසා අපට ඵලයක් ලැබෙනවා. ඒ තමයි "දැකීම " කියන ඵලය.
පෙර ලිපි වල පැහැදිලි කල ආකාරය තේරුම් ගත්තොත් මේක හඳුනාගන්න හරිම පහසුයි.
මේ දැකීම කියන තැන හරි පිරිසිදුයි. 
ඒ කිව්වේ ,මේ හටගත්ත ස්කන්ධ 5හි කර්ම ,කෙලෙස්, කිසිවක් නැහැ. පිරිසිදු ස්කන්ධ 5 ක්.

මේ දැකීම කියන ඵලය හරියටම චිත්‍රයක් වගේ. චිත්‍රයක මිනිස්සු හිටියට ගස් කොලන් තිබුනට කතාකරන්නෙවත් සෙලවෙන්නේවත් නැහැ. වර්තමාන ක්ෂණයක් ගැනයි මේ කතාකරන්නේ. අල්ලන්න පුලුවන් ධර්මතාවයක් නොවෙයි මේ. නුවණින්ම දකින්න ඕන.
එතකොට දැකීම් මාත්‍රයක් තමයි මේ මොහොතේ තිබෙන්නේ.

තවම අපි,   දැක්කේ මේකයි… (මිනිහෙක්,සතෙක්, ගහක් ) හෝ දැක්ක දේ හොඳයි…හෝ නරකයි හෝ රූපය ගැන කුමක් හෝ සිතුවිල්ලක් උපදවාගෙන නැහැ.

 තාම ඇහැ පමණයි හට ගෙන තියෙන්නේ. අනිත් ආයතන 5ම නිරුද්ධයි. ඊට පස්සේ,මේ යතාර්ථය නොදකින නිසා, හට ගත්ත වේදනා,සංඥා,සංචේතනා මනායතනයෙන් භාර ගන්න එක තමයි කෙරෙන්නේ.

කර්ම කෙලෙස් හට ගන්නේ ඊට පස්සෙයි. එතකොට මනෝ විඤ්ඤාණ මට්ටමේ තමයි කර්ම,කෙලෙස් හටගන්නේ.අනිත් එක විඤ්ඤණයක් වත් අපිරිසිදු නැහැ.

එතකොට සත්ව පුද්ගල ආත්ම සංකල්ප ඔක්කොම ගොඩ නැගෙන්නේ මනෝ විඤ්ඤාණ මට්ටමේදී.
මනෝ විඤ්ඤාණය හට ගත් විට අනෙක් එකම විඤ්ඤාණයක් වත් හට ගෙන නැත. ඉතුරුවක් හෝ නැත. 

චක්ඛු විඤ්ඤාණය මෙන්ම මනෝ විඤ්ඤාණයද තනිවම හට ගන්නේ නැත. එතනත් ස්කන්ධ පංචකයක් හටගෙන ඇත.
ඇහැට රූප අරමුණු වෙනවා මෙන් මනායතනයට  අරමුණු වෙන්නේ චෛතසිකයි. (වේදනා,සංඥා,සංචේතනා වලින් කුමක් හෝ එකක් )

එතකොට මනෝ විඤ්ඤාණයක් හට ගන්නා මොහොතෙත්,ස්කන්ධ 5 ක හට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ස්කන්ධ 5 නිසා ඵලයක් ලැබෙනවා.ඒ තමයි "දැනගැනීම" (විඤ්ඤාත )

මේ අවස්ථාව කොයි වගේද කිව්වොත්, සිතෙ විවිධ රූප සටහන් අපිට පෙනෙනවා. උදාහරනයක් ගත්තොත්,ඇස් වහගෙන සිටියොත්,අවට දේවල් සජීවීව අපට පෙනෙනවා. ඇස් වහගෙන සිටින විට කොහොමත් රූප පෙනෙන්න බැහැ.නමුත් අවිද්‍යාව නිසා මේ  ඇත්ත නොදකින නිසා, පෙනෙනවා.

මේ තමයි මනෝ විඤ්ඤාණ අවස්ථාව. මෙතැන ස්කන්ධ 5ම තියෙනවා. අර මුලින් කියපු "දැකීම " වගේම අවස්ථාවක් මේ.
ස්කන්ධ 5 ම නිසයි ,මේ චිත්තරූපය හට ගන්නේ. මනෝ විඤ්ඤාණය පමනක් කියල ගත්තොත් වැරදියි. ස්කන්ධ 5ම තියෙනවා. පෙර ලිපි වල හේතු ඵල සම්බන්ධය (උදා: කන්නාඩිය, තේ.. ) හොඳින් පැහැදිලි කර තිබෙනවා.

එතකොට හැම විටම ජීවිත කාලයටම අපිට හම්බ වෙන්නේ මේ ඵලයන් 4 යි. දිට්ඨ,සුත,මුත ,විඤ්ඤාත .
හේතු ටික අප්‍රකටයි.
අපි කරන්න ඕන,හේතු ටික ප්‍රකට කරගන්න.


රූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ මේවා වෙනවෙනම කවමදාවත් හම්බ වෙන්නේ නැහැ

හැමදාම හමුවෙන්නේ ස්කන්ධ 5 ඇති තැන ඵලයයි. නුවණට පමනයි  ඒවා ගොචර වෙන්නේ.එහෙනම් අපි ප්‍රමාද නොවී මේ ධර්මතා 4 තේරුම් ගන්න බලමු. එවිට අවශ්‍ය නුවණ ඉබේම අපි තුල ගොඩනැගෙනවා.