Tuesday, September 23, 2014

සිතන්නට යමක්...

(1)කලයද මැටි? 
(2)මැටිද කලය? 
(3)කලය තුලද මැටි?
(4)මැටි තුලද කලය?
(5)කලයක් නැතිද?
(6) මැටිත් නැතිද?




(1)කලයද මැටි? රූපවන්තං වා අත්තානං
(2)මැටිද කලය? රූපං අත්තතෝ සමනුපස්සතී
(3)කලය තුලද මැටි? රූපස්මිංවා අත්තානං
(4)මැටි තුලද කලය? අත්තනීවා රූපං
(5)කලයක් නැතිද? උච්චේද දෘශ්ටිය
(6) මැටිත් නැතිද? උච්චේද දෘශ්ටිය

බලන්න ඔබත් මේ දෘශ්ටි වලද ඉන්නේ කියලා.
දෘශ්ටිවල එල්ලිලා,වාද විවාද කරගන්නවා.
දෘශ්ටි කියල කියන්නේ සිතින් කරන පැනවීම්. පැනවීම් කියන්නේ සිතිවිල්ලක් උපදවාගන්නවා.
සත්වයා,පුද්ගලය,මනුස්සයා,දෙවියා,බ්රහ්මයා, මේ ඔක්කොම දෘශ්ටීන්.
තිබෙන යතාර්තය නම්, ස්කන්ධ 5යි.
රූප,වේදනා,සංඥා,සංස්කාර,විඤ්ඤාණ.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මැටි , මැටිමයි, හැඩය වෙනස් වෙන කොට කලය,වලඳ,හට්ටිය,මුට්ටිය කියල සිතින් පැනවීම කරනවා. එතකොට කලය,වලඳ,හට්ටිය,මුට්ටිය.... කියල කියන්නේ සිතට එන සිතිවිල්ලක්. ඒක භාහිර මැටි වලට අයිති නැහැ. සිතිවිල්ල මනසෙයි හට ගන්නේ. තව දුරටත් බැලුවොත් "මැටි" කියන්නෙත් සිතිවිල්ලක්. යතාර්තය නම්, සතර මහා ධාතුවයි. සතර මහාධාතුවට විවිධ නම් පනවනවා අපි සිතින්.
රූපයේ නානත්වයක් තියෙන්න පුලුවන්. ඒකයි, විවිධ හැඩයන්ගෙන් රූප සමන්විත වෙන්නේ (වර්ණය වෙනස් වෙන්නේ ,සතර මහා ධාතූන් ගේ මිශ්‍රන අනුපාතය වෙනස් වන නිසයි. වර්ණය නිසයි හැඩයක්, ඇස මගින් හදල දෙන්නේ. එතකොට රූපයට ඇත්තම හැඩයක් නැහැ. තියෙන්නේ වර්ණයක් පමණයි.ඇස තමයි හැඩය හදල දෙන්නේ.).වර්ණය වෙනස් වූවත් ,රූපය කියන තැන තියෙන්නේ සතරමහා ධාතුවයි.සතර මහාධාතුව අපට කවදාවත් ඇසින් බලන්න බැහැ. ඒක ගෝචර වෙන්නේ නුවණටයි. ඒ හින්ද අපි නුවණ වඩන්න ඕන. හැමදාමත් අපට හම්බ වෙන්නේ රූපයයි. රූපය හම්බ වෙන කොට නුවණ වඩපු කෙනාට කෙලින්ම සිහිවෙන්නේ, "සතර මහාධාතුව ඇති තැන මෙවැනි රූපයක් පෙනෙනවා මිසක් ,කලය,වලඳ,හට්ටිය,මුට්ටිය කියල හෝ කුමක් වුවත්, රූපය පිලිබඳ සිතීමක් ඇතිවෙන්නේ, මනෝ විඤ්ඤාණ මට්ටමේ කියල දන්නවා . දකිනවා.
මේ නුවණ,ආරම්භයක්  විදියට වඩන්න පුලුවන්නම්, ඉතා හොඳයි. රූපය පිරිසිඳ දැකීමයි කලයුත්තේ. ඇත්තටම කිව්වොත්,කායනුපස්සනාවයි මේ වඩන්නේ.. 
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඒ වගේම,
සත්වයා,පුද්ගලයා,ගේදොර,යානවාහන,රත්තරන්......කියන්නෙත් සිතින් කරන පැනවීම්.
සතර මහා ධාතුව ඇති තැනට අපි සිතින් පැනවීම් කරනවා.
එතකොට සත්වයා,පුද්ගලයා,ගේදොර,යානවාහන,රත්තරන් කියල කියන්නේ සිතට එන අදහසක්,සිතිවිල්ලක්. 
බලන්න ,අපි කොච්චර මේ සිතිවිල්ලකට රැවටිලා කරන දේවල්.
අනික් සියලු ආගම් ,මේ සත්ව පුද්ගල දෘශ්ටි මත නෙවෙයිද ගොඩ නැගිල තියෙන්නේ....
වාද විවාද කරගන්නේ, රන්ඩු වෙන්නේ, ගහ මරා ගන්නේ මේ දෘශ්ටි පදනම් කරගෙන නොවේද? මේ ඇත්ත තමා තුලින්ම දකින විට ,ගොඩක් නිවීමකට පත් වෙනවා. සිතේ දාහය,දැවිල්ල ගොඩක් අඩු වෙනවා. නමුත් ඒ නිවීම ,නිවන නම් නොවෙයි. ඒ ආසන්නයට ලං වෙමින් පවතිනවා. 
මේ ධර්මතාවය හඳුනාගත්ත කෙනා,මේ සිතිවිල්ලම ප්රකට කරගන්න උත්සහ කරනවා.
එතකොට එහෙම කෙනා,කවමදාවත් භාහිරින් සත්වයා,පුද්ගලයා,ගේදොර,යානවාහන,රත්තරන් සොයන්න පෙලඹෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නත් ඉඩ නැහැ.මොකද ,භාහිර වූ සතර මහා ධාතුව නිසා හටගත් රූපයට සත්වයා,පුද්ගලයා,ගේදොර,යානවාහන,රත්තරන්.......යන පැනවීම තම සිතින් පැනවීමක් කරනවා මිසක්,තමාගේ මනසේ ගොඩනැගෙනවා මිසක්,භාහිර ඇත්තේ රූපය පමණක් ය යන්න ඔහු දන්නවා.
තවත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
ඇසට අරමුණු වෙන්නේ,රූපයි.රූපයෙත් වර්ණ සටහනයි.නමුත් පෘතග්ජන අපට නම් ඇසට සත්වයා,පුද්ගලයා,ගේදොර,යානවාහන,රත්තරන්, නෝනා,මහත්තයා පේනවා නේද?
එහෙම පේන්නේ,අර දෘශ්ටිය උපයෝගී කරගෙන රූපය බලන නිසයි.
ඒක හරියට රතුපාට කන්නාඩියක් දාගෙන,ලෝකය රතුපාටයි කියනවා වගේ. අපිත් එක එක කන්නාඩි දාගෙන ලෝකය මේ මේ පාටයි කියමින් තර්ක කරනවා.
තව කෙනෙක් කොලපාට කන්නාඩියක් දාගෙන රතු කන්නඩිය දාගත්තු මිනිහත් එක්ක වාද විවාද කරනවා,ලෝකය රතුපාට නෙවෙයි,කොලපාටයි කියලා. නමුත් දවසක කළ්යාණ මිත්රයෙක් කියනවා, උඹල ඉපදෙන වෙලාවේ ඇහැට රතුපාට ,කොලපාට කාච දාලා තියෙන්නේ, ඒකයි රතුපාටට කොලපාටට පේන්නේ,හිටපන් මම පෙන්නන්න කියලා, කාචය ගලවනවා.දැන් තමයි ඇත්ත පේන්නේ. ආ දාගනින් මේ නිල්පාට කාචෙ. දැන් උඹට ලෝකෙ නිල්පාටට පේනවා.නිල්පාට කාචෙ ගලවලා කහපාට දාගනින්,දැන් කහපාටට පේනවා.දාන දාන පාටට පේනවා මිසක් තිබෙන යතාර්තය පෙනිලා නැහැ මෙච්චර දවසක්.ඒ වගේ කාම ,අත්තවාද ආදී පාට කන්නාඩි දාගෙනයි ලෝකය දිහා බලල තියෙනනේ.
දෘශ්ටිය හඳුනාගන්න. රූපය දෘශ්ටිය වෙන් කරගන්න.
දෘශ්ටිය හඳුනාගත්ත කෙනා,ඊලඟට බලන්න ඕන කොහොමද දෘශ්ටිය හැදිල තියෙන්නෙ කියල. ඒක ගොඩක් පහසුයි,මේ කියන දේ ප්රකට කරගත්ත කෙනාට.
මේ කියන දේ ප්රකට නොකරගත්ත කෙනාට එතනින් එහාට යන්න බැහැ.
සරලව කියන්නම් දෘශ්ටිය හඳුනාගන්න විදිය.
ඇහැ ඉදිරියට කුමක් හෝ පැමිනි විගස,ඔබේ මනසෙන් කරන පැනවීම හඳුනාගන්න.
මේ අහවලා,අපේ බල්ලා,පූසා කුමක් හෝ වේවා.
ඇසට කරන්න පුලුවන් දැකීම පමණයි. දැක්ක දේ පිලිබඳ සිතන්න ඇහැට බැහැ.එතකොට දැක්ක දේ පිලිබඳ සිතන්නේ මනෝ විඤ්ඤාණ මට්ටමේදී.මේ අහවලා,අපේ බල්ලා,පූසා ආදී වශයෙන් සිතන්නේ මනස ඇසුරුකරගෙනයි. මේ විදියට පටන් ගත්තොත් මනෝ විඤ්ඤාණ මට්ටම ප්රකට කරන්ගන්න පුලුවන්.