Tuesday, April 16, 2013

යේ ධම්මා හේතුප්පභවා-තේසං හේතු තථාගතෝ ආහ


පෙර ලිපි වලින් කතාකරලා අවසානයට නවත්වපු තැන නැවතත් විමසා බලමු.මොකද සසරටත් නිවනටත් දොරටුව තමයි,අපි හෙලි පෙහෙලි කරගන්න ඕන.
එතනමයි වීර්යයෙන් උත්සහයෙන් කැපවීමෙන් නිරවුල් කරගෙන නුවනින් දකින්න ඕන.
මුලු ධර්මයම එක්තැන් වෙන ස්ථානය තමයි The Stargate to Nirvana ලිපියෙන් කතාකලේ.මුලු බුද්ධ ධර්මයම ගොඩ නැගෙන්නේ මේ කියන තැනයි. 
අපි ඇස් වසාගෙන නිශ්චලව සිටින විට , විවිධ චිත්ත රූප පෙනෙනවා.මේ පේන සිතුවිලි භාහිර වූ රූපයක්,ශබ්දයක්,ඝන්ධයක්,රසයක්,පහසක් කියන දෘශ්ටියකින් අපි ඉන්නවා.සක්කාය දෘශ්ටිය කියන්නේ මේකයි.අපි දන්නෙ නැහැ,ඒ පෙනෙන්නේ සිතුවිල්ලක් බව. සිතුවිල්ල, සිතුවිල්ල ලෙස දකින්න පුලුවන්නම්,ඒකයි අපි කරන්න ඕන.
ඇස් වහගෙන ඉන්නකොට අපේ කය මැවිලා පේනවා.අපි ඉන්න ඉරියව් මැවිලා පේනවා.අතපය කකුල් මෙහෙම තියෙනවා, කියලා මැවිලා පේනවා.ඒ පේන්නේ සැබැවටම භෞතික වූ කය නම් නොවේ.මනායතනය ,ධම්මායතනය,මනෝ විඤ්ඤාණය ඇති තැන හටගත්ත "දැන ගැනීම " කියන ඵලය තමයි,ඒ මැවී පෙනෙන්නේ.පෙර ලිපියේ මනෝ සම්ඵස්සය කියන අවස්ථාව තමයි ,මේ කියන්නේ. නමුත් මුලදී,අපිට හිතෙන්නේම මේ පෙනෙන්නේ භෞතික කය කියලයි.භාහිරට හිත පිහිටන ගතිය තමයි අඩු කරගන්න ඕන.ඒක අඩුකරගන්නේ මෙතන මේ ඇත්ත දැකලමයි.වීර්ය කරන්න ඕන.
වේදනාවත් එහෙමයි,ඇස් වහගෙන නිසලව ඉන්න විට ,විවිධ වේදනා,කැක්කුම් හටගන්නවා. ඒ වෙලාවටත්,විවිධ චිත්ත රූප මැවී පෙනෙනවා.වේදනාව දනහිසේ නම්,දනහිස මැවිලා පෙනෙනවා.වේදනාව අතේ නම්,අත මැවිලා පේනවා.මදුරුවෝ කනකොට ,මදුරුවා ශරීරයේ ලේ බොන දර්ශනයක් මැවිලා පේනවා.
වේදනාව චෛතසිකයක්.කයත් පහසත් කාය විඤ්ඤාණයත් ඇති තැන තමයි ( කාය ස්පර්ශය ) වේදනාව.වේදනාව කයට අයිතිත් නැහැ.කාය ස්පර්ශයට අයිතිත් නැහැ.කාය විඤ්ඤාණයට අයිතිත් නැහැ.කන්ණාඩියේ නිදසුන මතක් කරගන්න.හේතු ඵල දහම මතක් කරගන්න. නමුත් අපි වේදනාව කයට අයිති කරලයි බලන්නේ.වේදනාව එන්නේ කයෙන්මයි කියලා, ඵලය හේතුවට අයිති කරලයි බලන්නේ.( සක්කාය දෘශ්ටිය ).
මුලදි හිතෙයි,මේ පෙන්නේ මගේ ශරීරයයි ,කියලා.නමුත් අපි ඒ සමඟම අනිත් පැත්තට හිතන්න ඕන,එහෙම හිතුනට මේ පෙන්නෙ සිතුවිල්ලක් නේ ,කියලා.මෙහෙම කලක් නුවණ මෙහෙයවනකොට නුවණ වැඩෙනවා.යම් දවසක් එනවා,එදාට සිතේ සිතුවිලි හට ගෙන ( ඉපදිලා ) නිරුද්ධ වෙන ( මරණය ) ආකාරය දකින.

එදාට තමයි අපි මාර්ගස්ථයි කියන්නේ.නිවන් මගේ ඉන්නවා කියන්නේ.සම්මා දිට්ඨිය කියන්නේ මේකයි. මේ ධර්මයේ ආශ්චර්ය තියෙන්නේ මෙතනයි.ඒ ඇයි?
බලන්න.මුලු දහමම එක විට එක තැන ගොඩ නැගිලා.
චතුරාර්ය සත්‍යය
  • යම් දකින,අහන,දැනෙන,දැන ගන්න බවක් ඇති උනාම,අපි දැන් දන්නවා ,මේ හට ගෙන තියෙන්නේ ස්කන්ධ පංචකය කියලා.( දුක්ඛ සත්‍යය )
  • මෙතන ඇත්ත නොදැකීම තුල තෘශ්නා,දෘශ්ටි, මාන හට ගන්නවා කියලා දන්නවා ( දුක්ඛ සමුදය )
  • එහෙනම් තෘශ්නා,දෘශ්ටි, මාන හට නොගත්තොත්, තෘශ්නා,දෘශ්ටි, මාන උපද්දවන්න ආයතනයක් හට ගන්නේ නැහැ කියලා දන්නවා.ආයතනය නිරෝධ වෙනවා කියල දන්නවා.ආයතන නූපදිනවා.සලායතන නූපදිනවා ( නිරෝධ සත්‍යය )
  • එහෙනම්,අනුගමනය කල යුතු වැඩ පිලිවෙල දන්නවා. මොකද්ද ?දැකීමක් ,ඇසීමක්,දැනීමක් ,දැන ගැනීමක් ඇති වුනොත්,ස්කන්ධ පංචකය පෙර නොතිබීම මේ මේ හේතු නිසා හට ගෙන,හේතු නිරෝධයෙන් ඵලයද නිරුද්ධ වෙනවා කියලා දැකීමයි. (මාර්ග සත්‍යය ).
බලන්න මේ යෝනිසෝමනසිකාර තුල චතුරාර්ය සත්‍යය ගොඩ නැගිලා.ඒ විතරක්ද ,ඇයි පටිච්ච සමුප්පාදය. අවිද්‍යා පච්චයා සංඛාරා..... ගොඩ නැගෙන හැටි බලන්න.
ඒ විතරක් නොවෙයි, ආර්ය අශ්ඨාංගික මාර්ගයත් ගොඩ නැගිලා,වැඩෙනවා.
මෙසේ,යෝනිසෝමනසිකාරය පැවැත්වීමම තමයි සම්මා දිට්ඨිය.
ඉතිරි අංග 7ම සම්මා දිට්ඨිය නිසයි.ලැබෙන්නේ,සහ වැඩෙන්නේ.

හිරු උදාවන විට ,
අඳුර නැතිවෙනවා.
ආලෝකය වැඩි වෙනවා.
නොපෙනෙන දේවල් පේනවා.
සීත අඩුවී උනුසුම වැඩිවෙනවා.
මේ සියල්ලම සිදුවන්නේ එක විටයි.
මෙලෙස යෝනිසෝමනසිකාරය පවත්වන විට චතුරාර්ය සත්‍යය ,පටිච්ච සමුප්පාද ධර්මය,ආර්ය අශ්ඨාංගික ධර්මය එකවිට එක මොහොතක ගොඩ නැගෙනවා.
ඉතින් යෝනිසෝමනසිකාරය හඳුනාගත් කෙනා,මේ ධර්මතාවය දකින්න යන විට තේරෙනවා,සිතේ අසංවර භාවය.සමාධියේ මදභාවය හොඳින් දැනෙනවා. සමාධිය පවත්වන්න ගියාම තේරෙනවා ආයතන වලින් අරමුණු ගලා ගෙන එන නිසයි,සිත අසංවර වෙන්නේ කියලා.එයාට එතකොට තේරෙනවා ,සීලයක අවශ්‍යතාවය.දැඩිව දැනෙනවා.
එහෙම කෙනා අරමුණු අඩු ස්ථානයක් තෝරාගෙන සිත කිසියම් කමටහනක තබාගෙන සිත නිසල කරමින් දැකිය යුතු දහම දකිනවා.මේ ධර්මතාවය දකිනවා කියන්නේම,පංචනීවරණ යටපත් වෙලා කියන එකයි. මේ දර්මතාවය නොදැන භාවනා කලාට වැඩක් වෙන්නේ නැහැ.ඒකයි,භාවනා කර කර හිටියට නිවන් දකින්න බැහැ කිව්වේ.අරමුණක සිත තබලා,සිත වඩන්න පුලුවන්.නමුත් ඒකෙන් ප්‍රඥාව නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන,ප්‍රඥාව ( යෝනිසෝමනසිකාරය ) දැකීම පිනිස,සමාධිය ,සීලය වඩන්න ඕන.
ඒ සඳහා කරන කටයුතු සියල්ල අයිති වෙන්නේ නිවන් මගටයි.ආර්ය අශ්ඨාංගික මගටයි.බලන්න එතකොට අපි රකින සීලයත් ආර්ය සීලයක්,වඩන සමාධියත් මාර්ගයටමයි අයිති.සියල්ල තීරණය වන්නේ යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය හඳුනා ගැනීම මතයි. මේ පැහැදිලි කල ධර්මතාවය තමයි විවිධ නම් වලින් හඳුන්වා දී තිබෙන්නේ.( දර්ශනය,යෝනිසෝමනසිකාරය,සම්මා දිට්ඨි,චතුරාර්ය සත්‍යය,උදව්‍යය ඤාණය )
යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසච්ච නිරෝධෝ
ඒවං වාදිමහා සමණෝ
යම් ධර්මතාවයක් හේතු නිසා හට ගත්තානම්,හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වෙනවා.බුදු හාමුදුරුවන්ගේ දේශනාව එයයි.
අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී
තේසං වූප සමෝ සුඛෝ
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි.ඉපදිලා නිරුද්ධ වෙනවා.මේ ඉපදුනු ධර්මයෙහි නිරෝධය දකින බලන එක තමයි උතුම්ම සැපය.
සිතුවිලි ඉපදිලා නිරුද්ධ වීම  මේ කියන තැනට එනකොට අපි දන්නවා ලෝකය කොහෙද ගොඩ නැගෙන්නේ කියලා.
ලෝකය ගොඩ නැගෙන්න හේතුවත් අපි දන්නවා.
ලෝක නිරෝධයත් අපි දන්නවා.
ලෝක නිරෝධ කරන මගත් අපි දන්නවා.
ඉතින් මේ කියන තැන් වැරදි වැරදි හරි බලන්න ඕන.මුලදි නොවැරදි ඉන්න පුලුවන් කමක් නැහැ.වැරදි වැරදි හරි බලන කෙනා තමයි දවසක නොවැරදිම ඉන්නේ.
ඉතින් මාර්ගය උපදවන එක කාටවත් කරන්න බැහැ.තමන්මයි උත්සහයෙන් කැපවීමෙන් වීර්යයෙන් අත් නොහැර කරන්න ඕන.

Friday, April 12, 2013

හදුනාගන්න "මම"





පෙර ලිපියෙන් පැහැදිලි කල දෙය (link),දළ වශයෙන් ඉහත රූප සටහන් වලින් මේ පැහැදිලි කිරීම කරන්න උත්සහ කලා.නමුත් මේ ධර්මතාවය රූප සටහන් වලින් පෙන්නන්න බැහැ.ඒක තවත් දෘශ්ටියක් වෙනවා.ප්රායෝගික වෙමින් තමන් තුල මෙය අත් දකින්න ඕන.
ඇත්තටම මෙතන ලිහා ගන්න තියෙන්නේ මනායතනයේ සිදුවන ක්රියාවලියයි.මොකද ඇස ,කණ ,නාසය,දිව ,කය යන ආයතනය නොවෙයි, ප්රශ්නය. ආයතන වල හට ගන්න ස්කන්ධත් නොවෙයි ප්රශ්නය.
මනායතනය මගින් මේවා මම,මගේ ,මගේ ආත්මය කියලා උපාදානය කරගන්න එකයි ප්රශ්නය.
එතකොට මෙතන වැදගත්ම කාරණය තමයි,"මම" කියන දෘශ්ටිය ගොඩ නැගීම.
ස්කන්ධ පංචකය ඇති තැන ,"මම" කියන සංකල්පය ගොඩ නැගිලා.
හදුනාගන්න "මම".
ස්කන්ධ පංචකයට කියන නමක් තමයි "මම".

නමුත් මේ යතාර්තය නොදකින තැන,ස්කන්ධ පංචකය "මම වෙලා,මගේ වෙලා,මගේ ආත්මය වෙලා".
සෝතාපන්න ආර්ය ශ්රාවකයා,මේ වරද දකිනවා.වරදින් තාම මිදුනෙ නැහැ.රහත් ඵලයේදි තමයි ,මේ සිදුවන වරදින් මිදෙන්නේ.
සෝතාපන්න ආර්ය ශ්රාවකයා,සකෘදාගාමී වෙන්නත්,
සකෘදාගාමී ආර්ය ශ්රාවකයා,අනාගාමී වෙන්නත්,
අනාගාමී ආර්ය ශ්රාවකයා,රහත් වෙන්නත්, කරන්න තියෙන්නේ යෝනිසෝමනසිකාරය පවත්වන්න තමයි.
එහෙනම් ,මේ පැහැදිලි කිරීම නැවත නැවත කියවලා හරි,යෝනිසෝමනසිකාරය  හඳුනාගන්න බලන්න.අපිට දිනන්න පුලුවන්.