Wednesday, December 17, 2014

සරලව ගැඹුරට..

පහත රූපය බලන්න. අවස්ථාවන් 5ක් ඇත. කුමක් ද මෙහි ගත හැකි දහම?

 (1) පස්

විශාල දහමක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට සුදුසු මනසක් මෙයින් ලබා ගත හැක. මේ උදාහරණය ලෝකයේ සෑම දෙයකට අදාල කරගත හැක.එහෙම අදාල කරගනිමින් නිතරම මෙහි සත්‍ය අසත්‍යභාවය බලන කෙනාට නිතැතින්ම මේ පැහැදිලි කිරීම තේරුම් ගත හැක.

මෙහි ඇති වස්තූන් නිරායාසයෙන්ම ඔබට හඳුනාගත හැක. කුඩා කල සිට දන්නා භාණ්ඩ කිහිපයක්.
නමුත් ඔතන ලොකු වැරැද්දක් තියෙනවා. ඒක පෙන්නා දෙන්නයි මේ හදන්නේ.

සරලව, අංක 1හි ඇත්තේ පස්. මේ පස් ටිකට වතුර ටිකක් කලවම් කරලාම මැටි.
මේ මැටි වලින්, පෝච්චියක් හදනවා.
ඊට පස්සේ පෝච්චිය නැවත කුඩුකරල පස් බවට පත් කරනවා. ඒ පස් වලට ආයෙත් වතුර කලවම් කරල මැටි හදනවා. මේ මැටි වලින් කලයක් හදනවා.
කලේ කඩල කුඩුකරල පස් බවට පත් කරනවා. මේ පස් වතුරත් එක්ක කලවම් කරලා නැවත වරක් වලඳක් හදනවා.
වලඳ කඩලා කුඩුකරලා,පස් බවට පත් කරනවා. මේ පස් වතුරත් එක්ක කලවම් කරලා , ලස්සන ලස්සන රූප (හාවෙක් ) හදනවා.

මේ කියපු ක්‍රියාවලිය තේරුම් ගන්න පුලුවන් ඇති.
දැන් බලමු අපට හම්බ වෙච්ච දේවල් මොනවද කියලා.
පස්, මැටි, පෝච්චිය, කලය, වලඳ, හාවා.
මෙතන ලොකු වැරැද්දක් වෙලා තියෙනවා තේරෙනවද? මොකද්ද වැරැද්ද?
අවස්ථා 5හිම තිබුනේ පස්ය.
 හැඩයෙයි වර්ණයෙයි පමණයි, වෙනසක් ඇති  උනේ. එහෙම රූප ,ඇස ඉදිරියට එන කොට අපි සිතින් පැනවීම් කරගන්නවා  "පෝච්චිය, කලය, වලඳ,හාවා.." ආදී ලෙසින්.
එතකොට "පෝච්චිය, කලය, වලඳ,හාවා.."  කියල කියන්නේ,සිතට එන අදහසක්. ඒක නාම ධර්මයක්. ( මේ නාම ධර්මය හැදිල තියෙන්නේ කොහොමද කියන එක පස්සේ බලන්න පුලුවන්.ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ධර්මතාවය හඳුනාගන්න එකයි. ) ඒක සිතිවිල්ලක්.
ඒ "පෝච්චිය, කලය, වලඳ,හාවා.."  නැමැති සිතිවිල්ල ,අර ඇස ඉදිරියේ තියෙන වස්තුවට රූපයට අදාල නැහැ. ඇස ඉදිරියේ තියෙනේ සතරමහා ධාතුව නිසා උපාදාය රූප. (මේ උදාහරණයේ හැටියට නම් මැටි ) මැටි ඇති තැන "පෝච්චිය, කලය, වලඳ,හාවා.." කියලා අපේ සිතේ දෘශ්ටියක් හට ගන්න එකයි වෙලා තියෙන්නේ. මේ නාම ධර්මත් රූප ධර්මත් අහසට පොලොව වගේ.නමුත් අපට නාමරූප වෙන් වෙලා නැහැ. ඉතින් අපි කරන්න ඕන ,මේ නාම ධර්මත් රූප ධර්මත් වෙන්කර කර බලන්න ඕන. ඇස ඉදිරියේ පවතින රූප ධර්මත් ඒ අරඹයා සිතේ හට ගන්නා නාම ධර්මත් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න ඕන.

දැන් අපි දන්නවා, මෙච්චර කල් වැරදි දෙයටයි පෝච්චිය,කලය,වලඳ කියල තියෙන්නේ කියලා.

ඒ වගෙම පෝච්චිය,කලය,වලඳ කියන්නේ ඇත්තටම මොකද්ද කියලත් දැන් දන්නවා.

මෙච්චර කල් පෝච්චියට ,කලයට, වලඳට ඇලීම් ගැටීම් උනා නම්, රන්ඩු සරුවල් උනානම් ,තමන්ටම ලැජ්ජා හිතෙයි, මැටි ගොඩකට  දෘශ්ටියක් පනවාගෙන ,ඒ දෘශ්ටියත් එක්ක තමයි ඇලීම් ගැටීම් ඇති කරගෙන තියෙන්නේ කියලා. එතකොට දෘශ්ටියත් සිතේමයි ඇතිවුනේ,ඇලීම් ගැටීම් ඇතිවුනෙත් සිතේමයි. මේ ශරීරයෙන් දශමයක තරම්වත් ප්‍රමාණයක් අපි ජීවිතේ කවම දාවත් ඉවතට ගිහිල්ල නැහැ. 100% මනෝමය ලෝකයකයි අපි ජීවත් වෙන්නේ.
 සුලුපටු වැරැද්දක් නොවෙයි. සංසාරයේ ගමන් කරන්නෙත් මේ හේතුව හින්දයි. වහ වහා නිවැරදි කරගත්තොත් ,ඉක්මනින්ම සසරින් ගැලවෙන්න පුලුවන්.
ඉතින් මේ වැරැද්ද නිවැරදි නොකරගෙන ඉදිරියටනම් යන්න බැහැ.ඇත්තටම,නිවැරදි නොකරගත්තොත් ඉදිරියට යනවා කියල එකක් වෙන්නේ නැහැ.
 ඉතින් අපි උනන්දු වෙලා මේ ධර්මතාවය හඳුනාගන්න උත්සහ කලොත්, ඊට පස්සේ තියෙන්නේ ,කොහොමද මේ සිතිවිල්ල හැදිල තියෙන්නේ කියලයි.
මේ උදාහරණයේ අපි කතා කලේ,ඇස ඉදිරියට එන රූප පිලිබඳවයි.
මේ ටිකම තමා, කණට ශබ්දයක් ඇසෙන විටත්.
ප්‍රායොගික වෙමින් අත් හදා බලන්න. දහම තමන් තුලින් දකින්න.


Monday, December 15, 2014

මනුස්සයා ,දෙවියා, බ්රහ්මයා,තිරිසනා, යක්ෂයා,පෙරේතයා

අද ලෝකයේ සියලු ආගම් පවතින්නේ මනුස්සයා ,දෙවියා, බ්රහ්මයා ආදිය මුල්කරගෙනයි.මොනවද මේ මනුස්සයා ,දෙවියා, බ්රහ්මයා,තිරිසනා, යක්ෂයා,පෙරේතයා.... ?

අපි සරල උදාහරණයකින් පටන් ගමු.
පරමාණුවක් ගන්න. එය සත්ව පුද්ගල ආත්ම නොවේ.
එවැනි පරමාණු 2ක් එකට ගන්න. ඒ යුගලය සත්ව පුද්ගල ආත්ම නොවේ.
3ක් එකට ගන්න.සත්ව පුද්ගල ආත්ම නොවේ.
10ක් සත්ව පුද්ගල ආත්ම නොවේ.
100ක්,සත්ව පුද්ගල ආත්ම නොවේ.
1000ක් සත්ව පුද්ගල ආත්ම නොවේ.
10000ක් සත්ව පුද්ගල ආත්ම නොවේ.
100000000000ක් සත්ව පුද්ගල ආත්ම නොවේ.
100000000000000000000ක් සත්ව පුද්ගල ආත්ම නොවේ.
එසේ නම් මනුස්ස ශරීරයක් ගත හොත් මෙවැනි සත්ව පුද්ගල ආත්ම නොවූ පරමානු දස දහස් ගනනකින් සැදී ඇති රූපයකි.

ප්රශ්නය එය නොවේ. අපි සිතමු, ශරීරයක තියෙන පරමානු ගනන X කියලා.
බලන්න පහත වාක්ය අතරින් නිවැරදි ප්රකාශය කුමක්ද කියා.
(1) පරමානු X ප්රමානයක් යනු එක් මිනිසෙකි.
(2) එක් මිනිසෙක් යනු පරමාණු X ප්රමාණයකි.
(3) පරමාණු X ප්රමාණයක් තුල මිනිසෙක් සිටියි.
(4) මිනිසා තුල පරමාණු X ප්රමාණයක් ඇත.
(5) පරමාණු X සහ මිනිසා යනු එකකි.
(6) පරමාණු X සහ මිනිසා යනු 2කි.

මීට වඩා නිවැරදි පිලිතුරක් තිබේද?
ඔබ ඉහත කුමන හෝ වාක්යක් නිවැරදි යැයි සිතුවොත් එය වැරදිය. ඉහත වාක්ය සියල්ල කිසියම් හෝ දෘශ්ටියකට අයිතිය.
මේ පිලිබද කදිමට පෙර ලිපියකින් පැහැදිලි කර ඇත.
තවදුරටත් පැහැදිලි කරනවා නම්, කුමක්ද සැබැ පිලිතුර?

සරලව ගත්තොත්,
පරමාණු 1ක් යනු පරමාණු1කි.
පරමාණු 2ක් යනු පරමාණු 2කි.
පරමාණු X ප්රමාණයක් යනු පරමාණු X ප්රමාණයකි.
ප්රශ්නය ඇත්තේ මෙතැන නොවේ.
යතාර්තය නොදැකීම නිසා (පරමාණු ඇත්තේය..යන්න නොදන්නා කම නිසා) දෘශ්ටියක් පනවනවා, "මනුස්සයා" කියා.
එතකොට "මනුස්සයා" කියන්නේ දෘශ්ටියක්. දෘශ්ටිය හටගන්නේ තමන්ගේ සිතෙයි. සරලව කිව්වොත් "මනුස්සයා" කියල කියන්නේ,සිතට එන සිතුවිල්ලක් පමනයි.


තවදුරටත් පැහැදිලි කලොත්, පරමාණු X ප්රමාණයක් (පරමාණු ගොනුවක් ) ඇස ඉදිරිපිටට එන විට, මනසේ සිතුවිල්ලක් ජනිත වෙනවා, "මනුස්සයා" කියලා.එතකොට මේ හට ගත්ත "මනුස්සයා" නමැති සිතුවිල්ල ,අර ඇස ඉදිරිපිටට ආපු පරමාණු ගොනුවට අයිති නැහැ. නමුත් සසරේ මේතරම් දීර්ඝ කාලයක් දුක් විදිමින් ආවේ, මේ සිතේ හටගන්න සිතුවිල්ල, අර භාහිර පරමාණු ගොනුවට ඇඳා බලපු නිසයි. සිතුවිල්ල ,බාහිර පරමාණු ගොනුවට අයිති දෙයක් ලෙස බලපු නිසයි.


බාහිර රූපය පරමාණු වලිනුයි හැදිලා තියෙන්නෙ, "මනුස්සයා" නැමැති සිතුවිල්ල ,අපේ මනසෙයි ජනිත වෙලා තියෙන්නේ, එකතකොට "මනුස්සයා" කියන දෘශ්ටිය හැදිලා තියෙන්නේ චිත්ත ,චෛතසික වලිනුයි. භාහිර තියෙන්නේ පරමාණුයි.(තවදුරටත් කිව්වොත් සතර මහා ධාතුවෙනුයි ). එතකොට භාහිර තියෙන්නේ රූප. "මනුස්සයා" කියන සිතුවිල්ල "නාම" ධර්මයක්. එතකොට ,අපි සසරේ මෙච්චර කලක් භාහිර වූ රූපයත් ,ඒ අරඹයා සිතේ හටගන්නා "මනුස්සයා" නැමැති නාම ධර්මයත් සමාන යැයි සිතාගෙන සිටින බවකුයි තිබෙන්නේ. මේ 2 එකට ඈඳා ගෙන සසරේ යන බවකුයි තිබෙන්නේ.


එනම්, "මනුස්සයා" නැමැති සිතුවිල්ල භාහිරයි පවතින්නේ ය,,.. යන අදහසයි තියෙන්නේ.ඒකයි ලෝකය නිරන්තරයෙන්ම පවතිනවා යන හැඟීම තියෙන්නේ.

මෙතන සුලු පටු වරදක් නොවෙයි තියෙන්නේ,අනවරාග්ර වූ සංසාරය පවතීන්නේ, මේ දෘශ්ටිය භාහිර රූපයකට ගැට ගසා බලන නිසයි. බලන්න, කෙතරම් දීර්ඝ සසරක් ද කියලා. අවිද්යාවක තරම.


එහෙනම්, අපිට මේ දෘශ්ටිය සිතේ හට ගන්න සිතුවිල්ලක් ය.. ,යන්න බලන්න පුලුවන්නම්, අර භාහිර වූ රූපයට ,දෘශ්ටිය ගැට ගස්සා ගෙන බලන ගතිය ටික ටික අඩු වෙනවා. මෙතරම් කලක් සසරේ ගමන් කලේ බොරුවක් නිසායි. රූපයට ,සිතේ හට ගන්න සිතුවිල්ල අයිතිය.. යන අදහසින් බලපු නිසයි.


නමුත් කල්යාණ මිත්රයෙක් ඔබට මේ යතාර්තය කියල දෙනවා. ඔබ වැරදි වැරදි හරි මේ ඇත්ත බලන්න (තමාගේම සිත තුලින් ) උත්සහ කරන විට ,බොරුවට ඉඩක් නැහැ. බොරුව පලා යනවා. ඒකයි මේ දහමේ තියෙන ආශ්චර්යය. සසර බලන් ඉද්දි කෙටි වෙනවා. ධර්මය ඒ තරම් බලවත්. ධර්මය මතුකරමින් බලන විට "බොරුවට" පවතින්න බැහැ. 


එතකොට මේ සිතේ පහල වන සිතුවිල්ල ,භාහිර ලෝකයෙන් සොයන ගතියට කියනවා ,භවය කියලා.
ඒ කියන්නේ, යම් කිසි චිත්තජ රූපයක් සිතේ හට ගත්තාම, ඒ හට ගත්තේ සිතුවිල්ලක් ය යන්න නොදැන ,සිත භාහිර ට නැමෙන ගතියටයි ,භවය කියන්නේ.


අර,"මනුස්සයා" කියන දෘශ්ටිය, භාහිර තමයි සිටින්නේ ... කියන ගතිය තමයි, භවය.
"මනුස්සයා" කියන දෘශ්ටිය, සිතේ නිර්මාණයක් කියලා හිතෙන්නෙම නැහැ. ඒ ගතිය තමයි ,භවය.
ඒකයි,අපි සිතුවිල්ලකට රැවටිලා, යාන වාහන,ගෙවල් දොරවල්,ඉඩකඩම්, රන්,රිදී,මුතු මැනික් නෝනලා,මහත්තයලා,අම්මා,තාත්තා.... හොයන්න දකින්න යන්නේ. "මනුස්සයා" කියල කියන්නේ දෘශ්ටියක් නම්,  යාන වාහන,ගෙවල් දොරවල්,ඉඩකඩම්, රන්,රිදී,මුතු මැනික් නෝනලා,මහත්තයලා,අම්මා,තාත්තා..... ,මේ ඔක්කෝම දෘශ්ටි.( සිතේ හටගන්න සිතුවිලි ) භාහිරින් කවමදාවත් අපිට  යාන වාහන,ගෙවල් දොරවල්,ඉඩකඩම්, රන්,රිදී,මුතු මැනික් නෝනලා,මහත්තයලා,අම්මා,තාත්තා... හම්බ උනේ නැහැ.ඒකයි යතාර්තය. හැමදාම හමුවුනේ හමුවෙන්නේ,සිතුවිල්ලක්ම පමණි. සිතුවිල්ලට රැවටිලා,භාහිරින් රූප සොයපු එකයි මෙච්චර සංසාරේ කලෙත්. භාහිරින්  යාන වාහන,ගෙවල් දොරවල්,ඉඩකඩම්, රන්,රිදී,මුතු මැනික් නෝනලා,මහත්තයලා,අම්මා,තාත්තා හම්බ උනා නම් කමක් නැහැ. නමුත් හම්බ වුනෙත්, ඇසට රූප, කණට ශබ්ද, නහයට ගන්ධ,දිවට රස, කයට පහස,මනසට සිතුවිලි විතරයි.මේවා ආයතනවලට අරමුණු වෙනකොට මනසේ  යාන වාහන,ගෙවල් දොරවල්,ඉඩකඩම්, රන්,රිදී,මුතු මැනික් නෝනලා,මහත්තයලා,අම්මා,තාත්තා.. ආදි දෘශ්ටි හටගත්තා විතරයි.නැවත දෘශ්ටියට රැවටිලා ,භාහිරින් හොයපු එක විතරයි වෙලා තියෙන්නෙ.

හොඳින් සම්මර්ශනය කරන්න, ඇසට ,කණට ,නාසයට ,දිවට ,ශරීරයට යමක් ගැටුන විට ,අරමුණු වන විට, ...මනසේ හටගන්න දෘශ්ටිය.
මේ කාරණාව ප්රකට කරගත්ත කෙනාටයි,එතනින් එහාට යන්න පුලුවන්.සක්කාය දෘශ්ටිය නැතිකරගන්න පුලුවන් වෙන්නේ ,මේ කාරණාව ප්රකට කරගත්ත කෙනාටයි.


ඉතින් මේ කාරණාව ප්රකට කරගත්ත කෙනාට, "මම" කියන දෘශ්ටිය ඉතා පහසුවෙන් හඳුනාගන්න පුලුවනි.

මොකද, "මම" කියල කියන්නෙත් දෘශ්ටියක් පමණයි.
එතකොට "මම" ඉන්නවා කියන සාස්වත දෘශ්ටියට වැටෙන්නෙත් නැහැ.
"මම" නැහැ කියන උච්චේද දෘශ්ටියට වැටෙන්නෙත් නැහැ.
මොකද "මම "කියන්නේ දෘශ්ටියක් කියල හොඳින් දන්නවා දකිනවා.


ඉතින් දෘශ්ටිය ප්රහාණය කරන්න කලින්, දෘශ්ටිය හඳුනාගන්න එපායෑ.
දෘශ්ටිය හඳුනාගන්නයි,අපි වෙරවෑයම් කරන්න ඕන. දෘශ්ටිය ප්රහානය කරන එක අමාරු නැහැ,දෘශ්ටිය හඳුනාගත්ත කෙනාට.
ඉතින් ,මේ ලිපියේ පුලුවන් තරම් ගැඹුරු පාලි වචන නොයොදා හැමෝට ම තේරෙන විදියට සරල විදියට ඉදිරිපත් කරන්න උත්සහ කලා හැමෝටම සසරින් එතෙර වෙන්න.

මේ කරගත්තාවූ ධර්ම දාන පින, පූජ්ය පාද පිටිගල ගුණරතන හිමිටත්, පූජ්යපාද මාන්කඩවල සුදස්සන හිමිටත් ,
සසරේ දුක සෙවීමට මගපාදා දුන් සහ මග අවුරන සැමට මේ පින අනුමෝදන් වේවා !!

Friday, December 5, 2014

අවදිව සිටියත් ,නිදි නම්...........



නින්දේ දී දකින සිහින සහ අවදිව සිටින විට දකින සිතන දේවල් වල වෙනසක් තිබේද?

උදාහරණයක් ගමු.

Ruwanweli 
 
1 අවස්ථාව
ඉහත රූප සටහන ,ඔබ නින්දේදි සිහිනෙන් පෙනුනා යැයි සිතන්න.ඔබ එය රුවන්වැලි සෑය යැයි සිතා,ඒ අනුව යම් යම් සිද්ධි සමුදායක් සිහිනෙන් දකින අවස්ථාවක් උදාහරනයකට ගන්න. රුවන්වැලි සෑයට වඳින ,ඒ වටා ඇවිදගෙන යන විවිධ දේවල් සිහිනෙන් පෙනෙන්න පුලුවන්.

දැන්, ඔබ අවදි වූ විට ,මම රුවන්වැලිසෑය දැක්කේ සිහිනෙන්ය, යන්න ඔබට වැටහෙනු ඇත.
ගැටලුව තියෙන්නේ ඊට පසුවය.

2 අවස්ථාව
ඔබ අවදිව සිටින විට, ඉහත රූපයම සිතේ පහල උනොත්, රුවන්වැලි සෑයට සම්බන්ධ සිතුවිලි සමුදායක් හටගන්න පුලුවන්. රුවන්වැලි සෑයට වැඳීමට ගිය වන්දනා ගමනක මතකය නැවත අලුත් වියහැක.

1 අවස්ථාවේ සහ 2 අවස්ථාවේ වෙනස කුමක්ද?
අවිද්‍යාවක මහත, මේ අවස්ථා 2කම එකයි. සිහිනෙන් දැක්කත්, අවදිව සිටින විට දැක්කත් මනසේ හට ගන්නා සිතුවිලි පමනයි අපට හමුවෙන්නේ. සිතුවිලි හටගෙන නිරුද්ධ වීමයි වෙන්නෙ.

එහෙනම් කොහොමද, නින්දේදී දකින සිහින, අවදි වූ විට, "මම දැක්කේ සිහිනයක්ය." කියා සිතන්නේත්.
ඒ වගෙම,අවදිව සිටින විට මනසේ හටගන්නා සිතුවිලි ඒ ආකාරයෙන්ම නොපෙනෙන්නේත්?
ඒ මේ හින්දයි,
සිහින පෙනෙන විට අනිත් ආයතන(ඇස,කණ,නාසය,දිව,ශරීරය ) නිරුද්ධයි. හටගෙන නැහැ. වැඩ කරන්නේ නැහැ.
ඒ හින්දා, ඒ පහල වන සිතුවිලි වල කෙලෙස් ගතිය ගොඩක් අඩුයි.ඒකයි,කොතරම් භයානක සිහිනයක් දැක්කත්, අපි ඇහැරුණාම ඒ භයානක ගතිය, දැනෙන්නේ නැත්තේ,සමහර තදින් දකින සිහින පවා අවදි වු විට කිසිම මතකයක් නැහැ. ඒ ,සිතුවිලි වල කෙලෙස් ගතිය ගොඩක් අඩු හින්දයි.
එහෙනම් අපි අවදිව සිටින විට ,පහලවන සිතුවිලි වල කෙලෙස් ගතිය ගොඩක් වැඩිනිසා ඒවා අපිට ඇත්ත සිද්ධියක් වෙලා. ලෝකය පවතිනවා යැයි හැඟීමක් ඇතිවෙලා. තමන් වටා ලෝකය පවතිනවා යැයි හැඟීම් ඇතිවෙලා.මම ඉන්නවා යැයි හැඟීමක් ඇතිවෙලා.

සාරංශව ගත්තොත්, අපි අවදිව සිටියත්, සැබෑවටම අපි තාමත් නිදි....

පවතින යථාර්තය නම්, නිදා සිටියත්,අවදිව සිටියත්, සිතුවිලි ඉපදිලා නිරුද්ධ වෙන බව. නමුත් අපි ඒ බව නොදන්න නිසා, ඒ පහල වන සිතුවිල්ල අරඹයා රැවටිලා, බාහිරින් විවිධ දේවල් සොයන්න දකින්න, ආයතනයක් උපද්දවනවා. රූප දකින්න ,ශබ්ද අහන්න, රස බලන්න, සුවඳ බලන්න,ස්පර්ශය ලබන්න ආයතනයක් උපද්දවනවා.

නමුත් අපිට හැකිනම්, වීර්යය යොදා වරද්ද වරද්ද  හරි , මේ වර්තමානය තුල පහල වන සිතුවිල්ල, සිතුවිල්ලක් ලෙස බලන්න,දකින්න, අර කියපු කෙලෙස් ගතිය එන්න එන්න අඩුවෙනවා. අපි සිතුවිල්ලට රැවටෙන්නේ නැතිව ඉන්න පුලුවන්. ඒ හින්දා නැවත ආයතනයක් උපද්දවන්නේ නැහැ. සිතුවිල්ලට රැවටිලා ඇස,කණ,නාසය ,දිව ,ශරීරය උපද්ද වන්නේ නැහැ. 

එතකොට මෙහෙම කරන විට, නින්දෙන් අවදි වූ විට දැකපු සිහින , සිතුවිල්ලක් පමනයි හැඟෙන්නේ යම්සේද, එසේම අවදිව සිටින විටත් සිතුවිලි ඉපිද නිරුද්ධ වන බව දන්නවා. කෙලෙස් තුනී වෙනවා.
මේ අවස්ථාවට කියන්නේ විපස්සනා සම්මා දිට්ඨියයි. ඊට පස්සේ තමයි  චතුසච්ච සම්මා දිට්ඨියට යන පාර තියෙන්නෙ.(ලෝකෝත්තර මාර්ගය )
සත්ව පුද්ගල ආත්ම සංකල්ප(සිතුවිලි ) හටගන්න ආකාරය තම මනසින් ප්‍රකට කරගත්ත කෙනාටයි ,මාර්ගයට පිවිසෙන්න සුදුසු. ඒ කියන්නේ විපස්සනා සම්මා දිට්ඨිය නොමැතිව, භාවනා කල පමනින් ,සිල් ගත්ත පමනින් නිවන් දැකිය නොහැක.
එහෙනම්, ගවේශනය කරන්න, "මම" කියන සිතුවිල්ල හට ගන්න හැටි.
මනුස්සයා කියන සිතුවිල්ල හටගන්න හැටි.මුලු ලෝකයම මනසේ හටගන්න හැටි.